සන්ධ්‍යා එක්නලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද ?


සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්ථා උනා. ඇය ඇතුළු ලොව පුරා කාන්තාවන් දොලොස් දෙනෙකුට පිරිනැමුනු මේ සම්මාන ක්‍රියාවලියේ සන්ධ්‍යා වෙනුවෙන් සැකසුනු හේතුපාඨ වල සදහන් වී තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම උදෙසා ඇය කරන ලද වෙහෙසකර කැපකිරීමට උපහාරයක් පිණිස මේ සම්මානය ප්‍රධානය කරන බවයි.
සම්මානය ලබාගැනීම සදහා ඇමරිකාවට ගිය සන්ධ්‍යාට ඇමරිකානු පුවත්පතක සේවය කරන ලද ප්‍රගීත් වැනිම මාධ්‍යවේදියෙකු වූ ගැරී වෙබ් නැමැත්තා  මුන නොගැසෙන්නට ඇති. ගැරී යනු ඇමරිකාවේ SAN JOSE MERCURY NEWS නම් පුවත්පතේ සේවය කරමින් සිටින අතරතුර CIA සංවිධානය සම්බන්ධව සුවිශේෂී ගවේෂනාත්මක පුවතක් පළකිරීම නිසා රස්සාවෙන් ඉවත්කර පසුව අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ නොහොත් ඔලුවට වෙඩි පහරවල් දෙකක්ම තබාගෙන සියදිවි නසාගත් මාධයවේදියෙක්.
ප්‍රගීත් ගේ සිද්ධියේ සහ ගැරී වෙබ් ගේ සිද්ධියේ බලු බැල්මට බොහෝ සමානකම් තියනව. වෙනසකට ඇත්තේ ගැරී ගේ සිදුවීම නැවතීමේ තිතකින් අවසන් වී ප්‍රශ්නාර්ථ ලකුණකින් යලි ආරම්භ වී ඇති අතර ප්‍රගීත් ගේ සිද්ධිය ප්‍රශ්නාර්ථ ලකුණකින් අතරමග නැවතී තිබීමයි. ඇමරිකාවේදී සන්ධ්‍යාට ගැරී වෙබ් වැනි නැවතීමේ තිතකින් සහ ප්‍රශ්ණයකින් නිමාවට පත්වුණු මාධ්‍යවේදියෙකු මුනගසුනේනම් නැවතීමේ තිතකින් වැළලී යන්නට තිබු ප්‍රගිත්ව ප්‍රශ්නයක් ලෙසට ඉදිරියට ඇදගෙන ඇවිත් සමාජයම ප්‍රශ්ණ කරන්න සන්ධ්‍යාට තිබුන ධෙර්යයට උපහාර පුදන්නට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉක්මන්වීමේ කෘතවේදී කම, අහිංසක කම, සංවේදීකම වැනි කාරණා වල සැගවුණු තිත්ත ඇත්ත සමහරවිට දැනගන්නට තිබුන.  
අසුව දසකයේ ඇමරිකාවේ රේගන් පාලනය ආරම්භ වීමත් සමගම රටතුල බොහෝ ආර්ථික සහ නීතිමය වෙනස්කම් සිදුකෙරෙනවා. මේ නීතිමය වෙනස්කම් ලෝකයටම බලපානවා. රටේ බහුජාතික සමාගම් එකිනෙක සම්බන්ධ වී ඒකාධිකාරී ආයතන ඇතිවීමට තිබු ඉඩකඩ තව තවත් පුළුල් කරනවා. මින් උපරිම ප්‍රයෝජනය ගන්නේ මාධ්‍ය සමාගම්. රටේ ජනමතය හැසිරවීමේ බලය ප්‍රධාන සමාගම් හතරක් වෙත බැරවෙනවා.  මේ බලවත් ‘මාධ්‍ය සමාජය’ රටේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන බලවේගය වෙනවා.
අසුව දශකයේ නිකරගුවාවේ කොමිනිස්ට් ව්රෝධි ගරිල්ලා ව්‍යාපාර වලට රහසේ අවි ආයුධ සහ පුහුණුව ලබාදීමේ රහස් මෙහෙයුමක් එවකට CIA සංවිධානය නිරතව සිටි බවට වාර්ථා වෙනවා.  එම වකවානුවේ දකුණු ඇමරිකානු කලාපයේ සමාජවාදී කදවුරු වල බිම් මට්ටමේ පිබිදීම් පිලිබදව ගැරී වෙබ් මාධ්‍ය වාර්තා පලකරනව. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රියාවලි නිසා එවකට ඇමරිකාවේ කළු ජාතික තරුණයන් තුල හෙමින් සීරුවේ හටගෙන තිබුණු විකල්ප දේශපාලන උනන්දුව ගැනත් ඔහු අදහස් පලකරනවා.
ගැරී ගේ මාධ්‍ය ජීවිතය කණපිට හැරවුණේ ඔහු විසින් ඉදරිපත් කළ DARK ALLIANCE නම්වූ වාර්තා වැඩසටහන නිසයි. එමගින් ඔහු කියා සිටියේ නිකරගුවාවෙන් කොකේන් මත්ද්‍රව්‍ය හොර රහසේ රැගෙන විත් ඇමරිකාවේ කළු ජාතික තරුණයන් අතර බෙදා හැරීමේ ජාවාරමක CIA සංවිධානය නිරත වෙන බවයි. මෙමගින් නිකරගුවාවේ ආණ්ඩු විරෝධී ගරිල්ලන්ට මුදල් ලැබෙන අතර ඇමරිකාවේ කළු තරුණයන්ගේ දේශපාලන පිබිදීම මත්කර සිරගත කිරීම CIA අරමුණ බව ඔහු ප්‍රකාශ කරනව.
ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන්ට පුද්ගලික වශයෙන් මෙවැනි චෝදනා තිබුනත් සමස්ථ CIA සංවිධානයට මෙවැනි චෝදනාවක් එල්ල කළ ප්‍රථමයා තමයි ගැරී. වියයුතු පරිද්දෙන්ම ඇමරිකාවේ මාධ්‍ය සහ රාජ්‍ය තන්ත්‍රය එකම තාරතාවයකින් යුතුව මේ ප්‍රවෘත්තිය නිසා ඇවිලෙනවා.
ප්‍රථමයෙන්ම සිදුවෙන්නේ රේගන් රජය මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීම. රේගන්ගේ බිරිද නැන්සි රේගන් තරුණයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ඒ වෙනවිට ප්‍රසිද්ධ වැඩසටහනක් දියත් කර තිබීම තත්වය තවත් බරපතල කාරණයක් වෙනව. ගැරි සේවය කළ කුඩා මාධ්‍ය ආයතනයට රටේ යෝධ රාජ්‍ය-මාධ්‍ය බලඇණිය ඉදිරියේ හිටගන්න බැරිවෙනවා. ඉන්පසුව ගැරිගේ මාධ්‍ය වාර්ථා වැරදි බව කියමින් ඔවුන් ජනතාවගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ ගැරිට රස්සාව අහිමි වෙනව. රස්සාවක් හොයාගෙන වෙනත් මාධ්‍ය ආයතන වලට ගියත් සුපිරි මාධ්‍ය බුවල්ලගේ අදෘශ්‍යමාන හස්තය විසින් වැඩේ නවත්වනවා. ඔහුගේ බිරිද ගැරිව දාල යනවා. ඊට පස්සේ ගැරී තම පියාට අයත් ග්‍රාමීය ගොවිපොලකට ගොස් තම අත්දැකීම් ආශ්‍රයෙන් පොතක් ලියන්න පටන් ගන්නවා.
පොත එලියට දාන්න ආසන්න වෙද්දි ඉතා අභිරහස් ලෙස ගැරී සියදිවි නසාගන්නවා. ඉතා අබිරහස් සියදිවි නසාගැනීමක්. මේ පුදුම සියදිවි නසගනිමේදී ඔහුගේ හිසේ මාරාන්තික වෙඩි උණ්ඩ දෙකක්ම තිබුණු බව පසුව අනාවරණය වෙනවා.
ගැරී යනු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උදහසට ලක්උනු පළමු හෝ අන්තිම මාධ්‍යවේදියා නෙමෙයි. ඒත් මේ කාලයේ, එනම් රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ ඩිජිටල් ඔත්තු සේවා ලෝකයේ සෑම මිනිසෙකුම හුස්ම ගන්න හැටි පවා නිරීක්ෂණය කරමින් සිටින අවධියේ මාධ්‍යවේදීන් මියයන්නේ ලෝකයට කථාකරන්න කිසිම කතන්දරයක් ඉතිරි නොකරමිනන්.
විකිලික්ස්  විසින් කළ හෙලිදරවුවකට අනුව වසර 2013 එක් දිනක එනම් ප්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සන්ධ්‍යා ඇතුළු අතලොස්සක් හුදකලා සටනක නිරත වෙමින් සිටින අවධියේ ඇමරිකාවේ ROLING STONE නම් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙක් වන මයිකල් හෙස්ටික්න්ස් ලොස් ඇන්ජලිස් නුවරදී වාහන අනතුරකින්  මියයනව. මියයන්නට පැය දොළහකට ප්‍රථම ඔහු තම මිතුරෙකුට කථා කොට තමා ආන්දෝලාත්මක පුවත් හෙළිදරවුවක් කිරීමට සුදානම් බව කියනවා. මේ සංවාදය ඇමරිකාවේ CYBER INTELLIGENCE CENTER මගින් සවන්දුන් බවට විකිලික්ස් වාර්තා කරනවා.
විකිලික්ස් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මිය යනවිට මයිකල් කොල්ස්ටික්න්ස් එවකට CIA ප්‍රධානියාව සිටි ජෝන් බෙර්නන් පිලිබදව හෙලිදරව්වකට සුදානම්ව සිටි බවයි.
ජනවාරි අටවෙනිදා දවසක පත්වූ පරණ ලංකාවේ අළුත් ආණ්ඩුව ඉදිරියේ ලේ තැවරුණු ෆයිල් එකක් දෙකක් නොව ෆයිල් රාක්කයක්ම ඉතිරි වෙනව. මේ ෆයිල් අතරින් ප්‍රගීත්, ලසන්ත, කීත් ආදීන්ගේ ෆයිල් විවර වෙන  අතර බොහෝ ෆයිල් උඩ බැදුණු අතීත මකුළු දැල් උඩ අළුත් මකුළු දැල් බැදෙනව. ෆයිල් විවර වීම සහ නොවීම මේ කාලයේ දේශපාලනයේ ඉත්තන්ගේ හැසිරීම මත අවාසනාවන්ත ලෙස තීරණය වෙනවා. මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතාගේ අතපය කඩා රටින් එලවා දැම්මේ තමන් බව ඒ කාලයේ වහසි බස් දෙඩු මර්වින් සිල්වා වැනි චරිත මේ කාලයේ දේශපාලන දාන් ලෑල්ලේ රජා ලගට වෙන්න තැපල ඉන්න නිසා මර්වින්ට ප්‍රශ්නයක් නොවී සේම පොද්දලගේ ෆයිල් එක නොඇරීම වැඩේ නිහඩ වෙලා යනව.
දේශපාලන අජෙන්ඩා වල චලනයන්ට අනුව මිනිසුන්ට ජිවත් වීමට ඉඩ දීම හෝ නොදීම මෙන්ම සම්මානයෙන් පිදීම හෝ නොපිදීම පිළිබද දැනුම ලංකාව සහ ඇමරිකාව එකිනෙකා ආනයන -අපනයන කරගෙන ඇති නිසා දැන් මේ වගේ දේවල් ඉතා සුමට ලෙස සිදුවෙනව.
ප්‍රගිත්ට යුක්තිය සොයා සටන් කරමින් සිටි සන්ධ්‍යා ඇතුළු සුළු පිරිසක් සහ අලුත් යහපාලන මිනිසුන් පිරිසක් ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක එකට හමුවීමේ ප්‍රීතිය නිමිත්තෙන් අළුත් යාලුවන්ට ජිවිතේ හීනෙන් පවා නොහිතපු රජකම්, යුව රජකම් වගේ පාට පාට තානාන්තර ලැබෙනවා. ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය වෙනුවට සන්ධ්‍යාටත් සම්මාන හම්බ වෙනවා. මේ මොහොතේ ලංකාවේ දේශපාලනය බොහෝ පාඩම් කියා දෙමින් ඉන්නව. ඉතිහාසය සල්පිලාකාරව කැරකැවී ආපසු පැමිණෙන්නේ නිකම් නොවේ අති භයානක ලෙස විහිළුද නිෂ්පාදනය කරමින්. ඉතිහාසය කරකැවුණු අනාගතයේ දවසක මහින්ද සුළග ගෑවුනු වේදිකාවකදී ‘දිරිය ගැහැණිය’ සම්මානයක්  ගැනීමට සන්ධ්‍යාට සිදුවුවහොත්, අපට අපේ ඉතිහාසය සමග තරහා නොවී සිටීමට දැන්ම පුරුදු විය යුතුය.

Comments

  1. ගැරී නම් පව්. එක්නලිගොදත් පව්. නෝනා ඊටත් වැඩිය පව්. එක්නැලිගොඩ ලන්ඩන් ආවනම් හිටපු ලේක්හවුස් ජනමාධ්‍ය වේදියෙක් හම්බ වෙන්න තිබුන. දැන් එයා බ්ලොග් ලියනවලු.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රසන්න ! අවුලක් නෑ : උසාවිය නිහඩයි

මෙන්න මඩ .........

නෙලුම්යාය නොදුටු රාජ්‍යයේ ඝනකම; පරක්කු වූ පසුවදනක් !