හැකරුන්ට දේශපාලනය කියාදෙමු

 හැකර්ලා



ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙන් එළියේ ජනප්‍රිය වෙලා ඉන්න අයගෙන් මාධ්‍යවේදීන් යැයි කියන කට්ටිය අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ‘ඔබ දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියනවද’ එහෙමත් නැත්නම ‘ඔබ දේශපාලනයට එන්නේ කවදාද’ වගේ ප්‍රශ්ණ. ඊයේ පෙරේදා ක්‍රිකට් වලින් සමුගත්ත ඩිල්ෂාන් ගෙනුත් මාධ්‍යවේදියෝ මේ වගේ ප්‍රශ්ණ ඇහුව. මීට පෙර සංගක්කාර ගෙන් මුරලිගෙන් විතරක් නෙවෙයි පසුගිය කාලයේ ළමයෙක් දුෂණය කොට මරා දැමුවෙයැයි සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කල ‘කොන්ඩයා’ නම් තරුණයාගෙන් පවා මාධ්‍යවේදීන් ඇහුවේ මේ ප්‍රශ්නයයි. 

මේ අතර ජනාධිපති වරයාගේ නිළ වෙබ් අඩවිය හැක් කොට පසුගියදා කථා බහට ලක්වුණු නව යොවුන් තරුණයාගෙන් කිසිම කෙනෙක් දේශපාලනයට එන ලෙස අරාධනා කලේ හෝ ප්‍රශ්ණ කලේ නෑ. හැම ක්ෂේත්‍රයකම කොල්ලයි බල්ලයි දේශපාලනයට ඒමට පොරකන ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙලා තියන මේ කාලයේ ලෝකය පුරාම ‘හැකර් ලා’ විසින් කරන බැරෑරුම් දේශපාලනය ලංකාවේ හැකර් ලෝකය තුලට ඇතුළු නොවීම අවාසනාවක්.


හැකර් යන පොදු විශේෂණ නාමයෙන් හදුන්වන සත්ව විශේෂයට ඇත්තේ හොද අතීතයක් නෙමෙයි. මේ නම කියපු ගමන් හුදී ජනයාගේ ඇස් ගෙඩි උඩ යනවා. හැකර් ලා ජනප්‍රිය වෙලා ඉන්නේ මිනිස්සුන්ගේ සුරක්ෂිත විද්යුත් ලෝකයට ඇතුළු වී ගේම් දෙන්නන් හැටියටයි. එහෙත් මේ අවාසනාවන්ත රාමුවෙන් එලියට ආ හැකර්ලා ලෝකයට අලුත් සන්නිව්දන මාධ්‍යක් හදුන්වා දී ඇති අතර ඔවුන් ලෝකයේ දේශපාලන බල රාමුව එළිදරවු කරමින් සිටිනව. 


හැකර් කෙනෙකු ලෙස වෘතීය ජීවිතය ඇරබු ඕස්ට්‍රේලියානු ජාතික ජුලියස් අසන්ජ් මේ අලුත් මාධ්‍ය ලෝකයේ පුරෝගාමියා ලෙස හදුන්වන්නට පුළුවන්. ඉරාක යුද සමයේ සහ ඊට පසුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හුවමාරු කරන ලද කේබල් පණිවිඩ හැක් කොට මාධ්‍ය වෙත මුදා හරිමින් 2006 වසරේ ‘විකිලික්ස්’ යනුවෙන් අලුත් ප්‍රකාශන මාධ්‍යක් ලෝකයට හදුන්වා දීමට ඔහු සමත් වෙනවා. දේශපාලන බලය වෙනුවෙන් ඉතා සරල ලෙස සන්විධානාත්මකව මිනිසුන් විනාශ කිරීමේ ඇමරිකානු රාජ්‍යයේ ව්‍යාපෘති ඉතා කදිමට මෙමගින් එලියට එනවා. 


මෙසේ එලියට ආ එක් වීඩියෝවක සදහන් වන්නේ සදාම් හුසේන්ගේ සොල්දාදුවන් සැගවී සිටින ගොඩනැගිල්ලකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමව කරන සංවාදයක දර්ශනයි. එහිදී ඇමරිකානු හෙලිකොප්ටර් යානාවක නියමුවා තාම පාලන මැදිරිය සමග පවසන්නේ ගොඩනැගිලි කිහිපයක් එක ලග පවතින බවත් ඉරාක භටයන් සිටින ගොඩනැගිල්ල හරියට ඉලක්ක කරගත නොහැකි බවයි. ‘කෙසේ හෝ ප්‍රහාරය එල්ල කරන්න’ අනික් කොනින් කියවෙනවා. ඉන්පසුව ප්‍රහාර එල්ලවෙන පෙනෙන අතර ඉන්පසුව නියමුවා පවසන්නේ තමන් වැරදි ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ලකළ බවත් සාමානය ජනයා ඉන් ජිවිතක්ෂයට පත්වූ බවයි.’කමක් නෑ.... ආයෙත් නිවැරදි ඉලක්කය ගන්න’ සංවාදයේ එහා කොනෙන් නියමුවාට නියෝග ලැබෙනවා. 




විකිලික්ස් විසින් මාධ්‍යට මුදාහල කේබල් වාර්තා පදනම් කරගනිමින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ ඇමරිකාව සහ යුරෝපයේ හමුදාවන් එක්ව ඉරාකයේ වැසියන් මිලියනයක් පමණ ඝාතනය කල බවයි. මේ හෙළිදරවු කිරීම් වල ප්‍රතිඑලයක් ලෙස අසන්ජ් ව දඩයම් කිරීමේ සහ විකිලික්ස් මාධ්‍ය කටයුතු නතර කිරීමේ මෙහෙයුමක් ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් ක්‍රියාත්මක කෙරෙනවා. මෙහි දිගුවක් විදිහට ස්විස්ටර්ලන්ත අධිකරණයක් මගින් බොරු ස්ත්‍රී දුෂණ නඩුවක් පටලවා ඔහුව අත්අඩංගුවට ගැනීමටත් එතනින් ඔහුව ඇමරිකාවට පිටුවහල් කිරීමටත් කුමන්ත්‍රණයක් දියත් වෙනවා. 


ලංඩන් නුවර ඔහුට අදාළ නඩුව විභාග වෙමින් පවතින අතරතුර. ඔහු ලංඩන් නුවර ඉක්වදෝර් තානාධිපති කාර්යාලය තුලට ඇතුළු වී දේශපාලන රැකවරණ ඉල්ලනව. අද දක්වාම ඉක්වදෝර් තානාධිපති කාර්යාලයේ රැදී සිටින ඔහු ඉන් පිටත එක් අඩියක් හෝ තැබුවහොත් අත්අඩංගුවට ගැනීමට බ්‍ර්තාන්‍ය පොලිසිය දිවා රෑ තානාධිපති කාර්යාලය වටේ රැකවල් ලාගෙන සිටිනව. අසාන්ජ් තානාධිපති කාර්යාලයේ රැකවරණය පතන්නේ වසර 2012 අගෝස්තු මාසයේදී. වසර හතරක් තිස්සේ ඔහු එහි රැදී සිටින ගමන් විකිලීක්ස් ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කරනව.


ඔහු පවසන අන්දමට විකිලික්ස් කියන්නේ දැන් ලෝකයේ අධිපතිවාදී දේශපාලන ධාරාවට එරෙහිව රහසේ එලන ලද සන්නිවේධන ජාලයක්. ඔහු ඇතුළු විකිලික්ස් මාධ්‍ය කරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා උත්තේජනය ලබා සිටින මිනිසුන් රාජ්‍යන් වල දත්ත ජාල වෙතට ඇතුළුවී එහි හුවමාරු වන විස්මිත කේබල් පණිවිඩ වල තොරතුරු විකිලික්ස් වෙත එවමින් පවතින බව ඔහු පවසයි. විකිලික්ස් යනු ක්‍රමයට එරෙහිව ගොඩ නගන සන්නිවේදන ජාලයක් ලෙස හැදින්විමට කැමති ඔහු අද සමාජයේ විධ්‍යාත්මක ජනමාධය භාවිතාව මෙය බව කියයි. 


විකිලික්ස් දැනට රහස්‍ය කේබල් පණිවිඩ මිලියන 11ක් පමණ මාධ්‍ය වෙත මුදා හැර ඇති බව කියවෙනවා. මේ ක්‍රියාකාරකම් නිසා බලවත් හෙළිදරවු වීමකට ලක්ව ඇති අමරිකාව සහ යුරෝපයේ මිලිටරි යාන්ත්‍රණය විකිලික්ස් පොඩිකර හැරීමේ සටනක් දියත් කොට ඇති අතර දැනටමත් එම ජලයේ ක්‍රියාකාරිකයන් දහදෙනෙක් පමණ දැනටමත් සිරගත කරලයි තියෙන්නේ. මේ සියළු බාධක හමුවේ ඉක්වදෝර් තානාධිපති කාර්යාලයේ වසර හතරක් තිස්සේ කොටුවී සටන් කරමින් සිටින ඔහු වෙනුවෙන් ‘අසාන්ජ් ආරක්ෂක අරමුදල’ නමින් අරමුදලක් විකිලික්ස් භාවිතාවට ආදරය කරන මිනිසුන් එකතු වී පිහිටවනවා. ඔහුගේ අරගලයට වසර හතරක් පිරිම නිමිත්තෙන් අසාන්ජ් විශේෂ ප්‍රකාශයක් කරනවා. එය ලෝකයේ නගර දහයක ලක්ෂයක් පමණ මිනිසුන් පිරිසක් එකතුවී සවන්දෙනවා. 


‘විකිලික්ස් කියන්නේ නවීන පුස්තකාලයක්. මේ පුස්තකාලය පරිශීලනය කරන්නන්ට අප ජිවත්වන ලෝකයේ සැබෑ ස්වරුපය වටහාගන්න පුළුවන්. දැන් අපි සුපිරි රාජ්‍ය බලයට එරෙහිව වයිරසයක් වගේ ක්‍රියා කරනවා. මේ ලෝකය මීට වඩා සාධාරණ තැනක් වෙනවා දකින්න කැමති මිනිස්සු අපි සමග එකතු වී වැඩ කරනවා. බොහොමයක් රාජ්‍යන් අපිව ද්‍රෝහීන් විදිහට හදුන්වනව. ඒත් අපි ද්‍රෝහීන් නෙවෙයි. අපි අපේ හෙළිදරවු කරන්නේ මාධ්‍ය වෙතට විතරයි. ඒ කියන්නේ ජනතාවට. ඒක ජනතාවගේ අයිතියක්’ – ජුලියස් අසන්ජ් 


ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කරපු තරුණයාට අපේ සමාජය විසින් දුන්නු තොග ගණන් අවවාද අනුශාසනා වුනේ දනුම දදියුණු කරගෙන හැකියාවෙන් ප්‍රොයෝජන ගන්නා ලෙසටත් උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ආදී සීනිබෝල ආලවට්ටම් ගොඩක්. ඒත් මේ වගේ තරුණයන්ට දිය යුතු අවවාදය වන්නේ ලෝකය දිහා ඇස් ඇර බැලීමේ දේශපාලනය ඉගෙනගෙන ඒ තුලින් රාජ්‍යයේ රහස් පැටිකිරිය ජනතාව වෙත එළිදරවු කරන විධ්‍යාත්මක ජනසන්නිවෙදනය අත්හදා බලන ලෙස නොවෙයිද ?. 



Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම