බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....






බ්ලොග් ලෝකයට අලුතෙන් පිවිසුණු බ්ලොගෙක් වශයෙන් මේ දිනවල මා අවකාශයේ සැරිසරමින් සිටිනව. මේකේ මායිම් හදුනා ගන්නා අදහසින්. එසේ රස්තියාදු ගහන විට මගේ නෙත ගැටුණු, අනිකුත් අවකාශ වල ඇති බෝවෙන රෝග ට්‍රෙන්ඩ් එකක් බ්ලොග් අවකාශයටත් ඇතුළු වී තිබෙනු දැක්කා. ඉතිං බ්ලොග් ඔස්තාර්ලාගේ දැනගැනීම පිණිස මෙසේ ලියා තබන්නට හිතුන. මේක සමහර විට තේ කෝප්පයේ දකින කිබුලෙක් වෙන්න ඇති. නමුත් එය තේ කෝප්පයේ සහ කිබුලාගේ වරදක් මිස මගේ වරදක් නොවේ.

මං ලංකාවේ ඉන්නකොට මගේ වෘතීය සගයන් එක්කෝ අයියලා අක්කලා, එහෙම නැත්නම් නංගිලා මල්ලිලාය. පුදුම සහෝදර හැගීමක් වගේ දෙයක් තමයි බලු බැල්මට පෙනුනේ. ඊටත් එහා ගමේදි, මුළු ගමේම හිටියේ නැන්දලා මාමලා, සහෝදර සහෝදරියන්ය. මුළු ගමම සහෝදර ලයින් එකක් වගෙයි. අඩුවක් නැතුව එකිනෙකා කා කොටා ගනිමින් අනිකාට ගේම දීමට බලාගෙන සිටින මිනිසුන් අයියා මල්ලි කියමින් එකිනෙකා 'අන්දවා ගැනීමේ සමාජ රෝගය' අලුත් සන්නිවේදන මාධ්‍යක් යැයි කියන බ්ලොග් අවකාශය තුලත් නොඅඩුව දකින්නට ලැබීම මටනම් අවුලක්. එය සමහරුන්ට සමහරවිට සාමාන්‍ය දෙයක් විය හැක.

මෙවැනි ගෝත්‍රික ලක්ෂණ අවකාශය තුල එලියට එන්නේ එහි වෘතීය භාවය ගිලිහෙන මොහොතේ ඊට හිලවුවක් වශයෙනි. අපි කැමති එකිනෙකාට උදවු පදවු කරමින් යාළු මාළු ලෙස අවකාශයේ එල්ලී සිටීමට මිස සංවාද ඇතිකිරීමට නොවේ.

තාර්කික මතවාදී පෝස්ටු ලියන අය බ්ලොග් අවකාශයේ බොහෝ ඇත. ඔවුන්ව සොයාගෙන ගොස් අල්ලා ගත යුතුව ඇත. සිදුව ඇත්තේ යාළු මාළු අයියා මල්ලි මිතුරු සමාජ වලින් අවකාශය පිරි ඉතිරි 'බර දේවල්' අඩියටම අවක්ෂේප වී තිබීමයි.

බ්ලොග් අවකාශයත්, මෑතකදී ගෝටා විසින් උත්කර්ෂයට නංවන ලද ජෝගින් පාක් අවකාශයත් අතර ඇත්තේ අපුර්ව සමාන කමකි. ජෝගින් පාක් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ පහල මැද පංතියේ කොලෙස්ටර්රෝල් සංකුලතා ඇතිවුණු මිනිස්සු උනත් එය හැමෝටම යා හැකි නිදහස් භූමියක්. ඒ නිසා පෙම්වතුන් ප්‍රේම කිරීමටත්, නිකමුන් ඇස්වල හිරි අර ගන්නටත්, කන්තෝරු කාරයන් කාලය ගෙවා දැමීමටත් ගටකපන්නන්, පිම්පියන් ආදී නොයෙක් දෙනා තමන්ගේ රස්සා කරගෙන යාම සදහා ජෝගින් පාරක් එයි. එය කාටවත් වලක්වා ලන්නට බැරි නිදහස් තත්වයක්. ඒත් ජෝගින් පාරක් වල ව්‍යායාම කිරීමට එන මිනිස්සු අඩු වෙනකොට ඒ ජෝගින් පාරක් විකෘති වෙලා අර්බුදයකට යනවා.

බ්ලොග් අවකාශත් ඒ වගේමයි. ඒවාවල දේශපාලනික තාර්කික කම් හිග වෙනකොට අයියා මල්ලි, ගුරු ගෝල මිතුරු සමාජ එලියට ඇවිත් සන්නිවේදනය අර්බුදයකට යනවා.

දේශපාලනය කියන වචනය ඇහුනු ගමන්ම සමහරුන්ගේ ඇස්ගෙඩි දෙක අඩි හත අටක්ම උඩ යනවා. තවත් සමහරුන්ගේ ඔළුගෙඩි තුල තමන් කැමතිම සහ අකමැතිම දේශපාලන පක්ෂ වල අකුරු මවනවා. මෙහෙම වෙන්නේ බ්ලොග් අවකාශයේ බෝවෙන රෝග ලක්ෂණයක් නිසා.....

නව සන්නිවේදනය කියන්න්නෙම දේශපාලනික දෙයක්. එය අල්ලාගත්තේ නැතිනම් සන්නිවේදනය අලුත් වෙන්නේ නෑ. නැතිනම් වෙන්නේ සිංහල බ්ලොග් අවකාශය තවත් හීනමාන අවකාශයක් බවට පත්වීමයි.

බ්ලොග් කරුවන්ට සම්මාන බෙදා හරින නෙලුම්යායේන් හෝ සම්මාන බෙදීමේ මහන්සියෙන් සීයෙන් එකක් හෝ යොදවල බ්ලොග් අවකාශය තාර්කික කරන්න උත්සහ කලොත් එය නව සන්නිවේදනයට මහත් පිටුවහලක් වේවි. නැත්නම් බ්ලොග් අවකාශය ගෝත්‍රික බ්ලොග් වන්දනාකරුවන්ගේ සහ විනෝද සවාරි කරුවන්ගේ  අභය බභූමියක් බවට පත්වේවි.

සෙස්ස පස්සට



Comments

  1. මචං සල්ලි.................

    අපේ අදහස කියන්නම්..... ලංකාවෙත් සිනමා සම්මාන උලෙළවල් තියෙනවා. ලෝකෙත් තියෙනවා. සම්මාන ගන්න සිනමාකරණය කරන අයත් ඉන්නවා. උන් සම්මානත් ගන්නවා. පොරවලුත් වෙනවා. විවේචනයටත් ලක් වෙනවා. තවත් කට්ටියක් ඉන්නවා සම්මාන බලාගෙන චිත්‍රපට හදන්නෙත් නැහැ. සම්මන හම්බෙන්නෙත් නැහැ. හැබැයි අවසන් විග්‍රහයේ දී උන් අතරත් පොරවල් ඉන්නවා. ඒක අර සම්මාන ගන්න නොගන්න කට්ටියත් දන්නවා.........

    ReplyDelete
  2. ඉතාම වැදගත් කතාවක්.....

    ඔබ කියනා දෙ සිදු නොවුනොත් සින්හල බ්ලොග් වල දකින්න ලැබෙන්නේ කිරිබත්ගොඩ නානානන්ද හාමුදුරුවන් ගේ ගෝල සැට් එක වගේ අදහන්නන් සහ පසුපස යන්නන් ය...
    අපට අවශ්ය ප්‍රශ්න කරන්නන්, උපහාස කොමෙන්ට් කොටන්නන්, cynical කොමෙන්ට් කොටන්නන් වැනි අදිපතිවාදයට අභියෝග කොරන්නන් ය!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++
      සරස පුතා මේකට නම් කිසිම විරෝධයක් නැහැ. මීට අරූ අන්කල්!

      Delete
    2. නෝ වොරීස් අන්කල් මචන්!

      Delete
    3. යකෝ සරසා ෆෝම් වෙලානේ. එකෙන්ම එකඟයි.

      Delete
    4. බිරින්දල ළමයි අල්ලලා අපහාස කරන එකත් ඔතනටද වැටෙන්නේ සරසා මලයා?

      Delete
    5. // බිරින්දල ළමයි අල්ලලා අපහාස කරන එකත් ඔතනටද වැටෙන්නේ සරසා මලයා? //

      අජ්ජෝ ......මා කිසිම දාක ඇනෝ කොමෙන්ට් කොටා නැත..කියන්න ඇති යමක් මුහුනට ම කියා දමන්න මට ආත්ම ශක්තියක් ඇත! එහෙයින් ඔය ප්‍රශ්නය මට අදාල නොවේ.... එහෙත් මා සුරකින මගේ චර්යාව මා අනුන් ගෙන් බලාපොරොත්තු නොවෙමි!

      මටත් දන්නා කියනා කස්ටිය ඇනෝ ඇවිත් ඔවැනි පවුලේ කස්ටිය ගාවාගනිමින් පසුගිය කලෙක අපහාස කොරන්න උත්සාහ කොලා..

      එම අපහාස මා බාර නොගත් බැවින් ලියපු ඇනෝ ම බාර ගන්න ඇති....

      Delete
  3. එකෙන්ම එකඟයි.... ඕක අපේ සමාජයේ තියෙන හොඳ කරන්න බැරි ලෙඩක්...

    ReplyDelete
  4. කහ සල්ලි අයියේ...මම ඔයාගේ මේ ලිපියට එකඟයි. ඔයා ගේන ගෝඨයියගේ ජොගින් පාත් උදාහරණයට හරිම කැමතියි. වරද ඇත්තේ කෝප්පයේද, කිඹුලාගේද, උඹේද කියන එක නෙමෙයි වැදගත්...වරද කාගෙද නෙමේ වරද කුමක්ද කියන එකයි හිතන්න ඕන. නැත්නම් ඉතින් බයික් එකෙන් ඇවිත් ලයික් එකක් දාගෙන යන්න තමයි තියෙන්නේ. මචං අර ජපන් බාසාවෙන් කියන්නේ "ප්‍රිවෙන්සොන්ද මොකක්ද එක ඊස් බෙටර් දෑන් කියෝර්" කියලා. ඒක බ්ලොග්කාරයෝ හිතට අරගැනීම ප්‍රයෝජනවත්.

    මචං..ප්‍රිවෙන්සොනුයි,,,රිඩෙම්ප්සොනුයි ටිකක් එක වගේ නිසා අපි මාලේගේ redemption song අහමු කූල් එකේ. මීට අරූ මල්ලි.

    ReplyDelete
  5. අනේ පලයන් බං යන්න. සංවාදයට අවස්ථාවක් හදල දීල ඔය අනිත් අය කලා වගේ කතා කරන්න හිටි අය කපන්නේ නැතුව, කළ සංවාදී පොත් එලි දැක්වීමට නොපැමිණ , උපන් දින උත්සවයකට ට සහභාගී වීමට යයි මග හැරි එකා තමා මේ ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. // අනේ පලයන් බං යන්න. සංවාදයට අවස්ථාවක් හදල දීල ඔය අනිත් අය කලා වගේ කතා කරන්න හිටි අය කපන්නේ නැතුව, කළ සංවාදී පොත් එලි දැක්වීමට නොපැමිණ , උපන් දින උත්සවයකට ට සහභාගී වීමට යයි මග හැරි එකා තමා මේ ලියන්නේ. //

      ඔවුවා මොනවද අන්කල් අජිත් මචන්...

      මේ ලඟදී රාජගිරියේ ටැලිපෝන් කනුවක් කට ගොන්නක් බීගෙන පාරට පැන්නා නේ.... ඉතින් එතැනින් ගිය ආර්තික සන්වර්දන අමාත්යන්සෙට අයිති කැබ් එකක හැප්පුනැයි කියන්නේ...

      Delete
    2. ඔය ටැලිපෝන් කණු නේද මට පෙන්නන්න බැහැ. පාටියකින් පස්සේ ගෙදර යනකොට ඕනෑ කමින් ඇඟේ හැප්පෙන්න එන්නේ.

      Delete
  6. කොන්ඩේ සුදුවෙච්චි තට්ටේ පෑදිච්චි නාකි අන්කල්ලට මචං කියන්න තමයි අමාරු අපි වගේ කොල්ලන්ට.... සංවාද කරන්න නම් බැරිය..

    ReplyDelete
  7. සංවාදයකට වඩා වැදගත් ක්‍රියාවයි. මේ වනවිට බ්ලොග් හරහා සමාජ සත්කාර රැසක් වෙනවා . ඒ අතර එකිනෙකාට උදව් කරගන්නවා. මේකට වඩා දේවලුත් බ්ලොග් හරහා වෙන්න පුලුවන් ඉදිරියට. ඔබ කියන ආකාරයේ සංවාද මේ බ්ලොග් අතර තියෙනවා තදටම. ඔබ බ්ලොග් කියවනවා මදියි වගේ මටනං හිතෙන්නේ.
    හැබැයි ඔබ ඉල්ලන්නේ පොරකාගැනීමක් නම් , එව්වා මෙහෙ නෑ මහත්තයා. යන්න පාර්ලිමේන්තුවට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම