රිචඩ් ද සොයිසා ෆැන්ටසිය නොහොත් පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍ය


ජනමාධයේ පදනම වන සත්‍ය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18 ක් පමණ ‘පරණ’ වී ඇති වර්තමානයේ ජනමාධ්‍ය තුල සත්‍ය ස්භාවික මරණයකට ගොදුරු වෙමින් සත්‍ය වෙනුවට පශ්චාත් සත්‍ය ( post truth ) කරලියට පැමිනෙනව. ඉතිං මේ යුගයේ මාධ්‍යයේ කාර්යභාරය තියෙන්නේ හීන කොදෙව්වකද ? එහෙම නැතිනම් ජනමාධයේ කාර්යභාරය අහෝසි වෙලා ඉවරද?

වසර 2016 දී ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයට පවා එක්වූ 'වසරේ වචනය' වන පශ්චාත් සත්‍ය (post truth) වචනයේ ශබ්ධකෝෂගත තේරුම වන්නේ සිදුවීම් සහ දත්ත පදනම් කරගනිමින් සත්‍ය ගවේෂණය කරනවා වෙනුවට පුද්ගලික විශ්වාසයන් සහ ඇදහීම් පදනම් කොට ගනිමින් සත්‍ය නිර්මාණය කිරීමයි.

ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමාකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ඉතා හදිස්සියෙන් නිර්මාණය කල නිෂ්පාදනයක් වන 'The Post' චිත්‍රපටය මේ දිනවල යුරෝපය පුරා ප්‍රදර්ශණය වෙනව. මේ චිත්‍රපටයේ කථාකරන්නේ 1967 වසරේ වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය නොහොත් පෙන්ටගනය විසින් නිකුත් කරනලද රහස් ලියවිල්ලක් සම්බන්ධවයි. ඇමරිකාව යුධ අපරාධ කල බවට මෙම ලියවිල්ලේ සදහන් වෙනව. 1971 වසරේදී එරට වොෂින්ටන් පොස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු අතට පත්වෙන මේ ලියවිල්ල පුවත්පතේ පලකිරීම වැලැක්වීම සදහා එවකට තිබු ජනාධපති රිචඩ් නික්සන් පාලනය නොයෙක් බලපෑම් කරනවා. මේ බලපෑම් අභිබවමින් වාර්ථාව ප්‍රසිද්ධ කිරීමට මාධ්‍යවේදීන් කරන අරගලය 'The Post' චිත්‍රපටය තුලින් කතාකරනව.

චිත්‍රපටය ගැන සදහන් කරමින් ස්පිල්බර්ග් කියන්නේ වර්තමාන ඩිජිටල් සන්නිවේදන යුගයේ ජනමාධ්‍යයේ පදනම වූ සත්‍ය අහෝසි වී දැන් ජනමාධ්‍යය තුල ඇත්තේ 'පශ්චාත් සත්‍ය' (post truth) බවයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පශ්චාත් සත්‍ය ආයතනගත කොට ඇති මේ අවස්ථාවේ ජනමාධ්‍යට සත්‍ය කාර්යභාරයක් තිබූ  'අතීතය' ජනතාවට මතක්කර දීමට ඔහු තේ the post චිත්‍රපටය  කඩිනමින් නිෂ්පාදනය කල බව ස්පිල්බර්ග් පවසයි.

පශ්චාත් සත්‍ය යන වචනනය ප්‍රථමයෙන්ම කරළියට එන්නේ Ralph Keys විසින් රචිත 'The post truth era' කෘතියෙන්. ඔහු කියන්නේ නුතන සමාජ ජාලා, විශේෂයෙන් ෆේස් බුක් සමාගම සතුව ඇති ඉතා ප්‍රභල ඇල්ගරිදම් (algorithm ) ක්‍රියාවලිය හරහා ඕනෑම සමාජයක මතයන් හැසිරවීමේ හැකියාව ඇති බවයි.

පශ්චාත් සත්‍ය සමාජගත කෙරුණු සුවිශේෂ සිදුවීම් දෙකක් වසර 2016 දී ලෝක දේශපාලනයේ සිදුවුනා.. එකක් යුරෝපා සංගමයෙන් වෙන්වීම හෝ නොවීම සදහා බ්‍රතාන්‍යයේ තිබු ජනමත විචාරණයයි. අනෙක ඩොනල්ඩ් ට්‍රම්ප්ස්  බලයට පත්වූ ඇමරිකාවේ ජනාධිපතිවරණයයි.

බ්‍රතාන්‍ය ජනමත විචාරණයේදී එරට යුරෝපා සංගමයෙන් වෙන්වීමට කැමැත්ත ඇති පිලේ අය ( එවකට පාලක පක්ෂයේ ඇතැම් ප්‍රභල ඇමතිවරු ) ප්‍රකාශ කලේ යුරෝපයෙන් වෙන්වුවහොත් බ්‍රතාන්‍යයට සතියකට පවුම් මිලියන 350 ක් පමණ ඉතිරි කරගත හැකි බවයි. මේ ප්‍රකාශය වෙයිරස් ගත වී සමාජයේ පැලපදියම් වූ අතර වෙන්වීමට කැමති පිරිසේ ජයග්‍රහණයට මේ කාරණය බොහෝ සෙයින් පිටුවහල් උනා. එහෙත් මැතිවරණය නිම වූ පසුව ජයග්‍රාහි පිලේ අය ( එරට විදේශ ඇමති බොරිස් ජොන්සන් ) ප්‍රකාශ කලේ පවුම් 350 ක ඉතිරිය විද්‍යාත්මක අගයක් නොව හුදු හිතළුවක් බවයි.

ඇමරිකානු ජන්නධිපතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනා වූ හිලරි සහ ට්‍රම්ප් දෙදෙනාටම තිබුනේ කළු අතීතයක්. ස්ත්‍රිය පිළිබද පීඩක අදහස් ඇත්තෙකු සහ ජාතිවාදියෙක් ලෙස ට්‍රම්ස් සමාජගත වී තිබුණු අතර දුර්වල නායිකාවක්, තම පක්ෂයේ ප්‍රතිවාදියා අයුතු ලෙස අභිබවා නාමයෝජනා ලබාගත් තැනැත්තියක ලෙස හිලරි හංවඩු ගැසී තිබුනා. එහෙත් මැතිවරණ සමයේ හිලරි පිලට අවාසිදායක කාරනා පමණක් ඉතා ප්‍රබල සහ සුක්ෂම ලෙස සමාජ ජාලා හරහා, විශේෂයෙන් ෆේස් බුක් සහ ට්ව්ටර් හරහා සමාජගත උනා. අවසානයේ ට්‍රම්ප්ස් ජනාධිපති ට්‍රම්ප්ස් බවට පත්වෙනව.

2016 වසරේ ලෝක දේශපාලනය තුල සිදුවූ මෙම පෙරලි දෙකම පිටුපස ෆේස්බුක් සමාගමේ ක්‍රියාකාරී මැදිහත්වීම ලැබුනු බව මාධ්‍ය විශ්ලේෂකයින් පවසනව. ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ දත්ත සහ ඔවුන් එය පාවිච්චි කරන කාලසිමා උපයෝගී කරගනිමින් ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ සිතුවිලි සහ ක්‍රියාමාර්ග උපකල්පනය කිරීමට  (algorithm ) ඔවුන්ට හැකිවී ඇති අතර එම දත්ත ට්‍රම්ප්ස් සහ බ්‍රතාන්‍යයේ ජනමත විචාරණයේ වෙන්වීමේ කණ්ඩායමට අලවි කොට ඇති බවට බොහෝ දෙනා පවසනව.

ඇලගරිදම් තුලින් කිසියම් කාලසීමාවකදී එක් මතයක් සවිබල ගන්වන පුවත් සහ වාර්තා බහුල ලෙස ෆේස් බුක් තුල සැරිසරන්නට සැලැස්වීමට ෆේස්බුක් සමාගමට හැකියාව තියනව. මෙතුලින් තීරණාත්මක ජනමතය හැසිරවීමට ෆේස්බුක් ක්‍රියා කරන බව එම සමාගමින් ඉවත්වූ බොහෝ දෙනෙක් පවසනව. (whistle blowers)

ජනමාධයේ ‘සත්‍ය’ ස්ථානගත වී තිබූ අවකාශයට පශ්චාත් සත්‍ය පැමිණ තිබීම මේ දවස්වල මාධ්‍ය නිරීක්ෂණ තුලින් කදිමට එලියට එයි. හුදී ජනයාට මේ දවස්වල දැකිය හැකි / නැරබිය හැකි උණුසුම් පුවත් නිර්මාණය වෙන්නේ කල් යල් බලා දේශපාලකයන් දෙසා බාන වාචාල කථා  වලිනි. මාධ්‍ය චැනල් වල ‘ප්‍රයිම් ටයිම්’ පුවත් පිරී ඉතිරි යන්නේ දේශපාලන වාචාල කථා වලින්  සහ බැරෑරුම් ලෙස දෙසාබාන ඕපාදුප වලින්.

ලොකු වාහනයක් ඇතුලේ ඉදල බෙල්ල එලියට දාන මරාගෙන් වට කරගෙන ප්‍රශ්න අහන මාධ්‍ය කාරයන්ගේ දර්ශනයක් පසුගියදා මාධ්‍ය මගින් එලියට ආව. එහිදී මාධ්‍ය කරුවන් දෙකට තුනට නැමී ‘සර් - සර්’ කියමින් ප්‍රශ්ණ අහයි. මාධ්‍යයේ ‘ලමයින්ට’ අවශ්‍ය වන්නේ මෙවැනි උතුමානන්ලාගේ කටින් පිටවන වචන උණු කැවුම් සේ විකිණිය හැකි වචන කිහිපයක් අල්ලාගෙන ගොස් මාධ්‍ය අයිතිකරුවන් ගේ දෙපා මුල තැබීමයි. පශ්චාත් සත්‍ය යුගයේ මාධ්‍ය මෙසේ සිල්ලර වී සාමන්‍යකරණය වීම එක අතකට එම මාධ්‍ය කරුවන්ගේ වරදක්ද නොවේ. දේශපාලකයින් මෙන්ම මාධ්‍ය කරුවන්ද බිහිකරන්නේ සමාජය තුළිනුයි.

මාධ්‍යවේදියා යනු සමාජයේ සිටින තුන්වන රාජ්‍ය (third state) බව මේ ගිරා මාධ්‍ය මහත්වරුන්ට කියා දීමට රිචඩ් ද සොයිසා වැනි මාධ්‍ය කාරයින් අද නැත. එසේත් නැතිනම් එවැනි මාධ්‍ය කරුවන් භයානක ලෙස නිහඩ වී සිටියි.  

මාධ්‍ය තුල සත්‍ය රජකළ වකවානුවේ රිචඩ් ද සොයිසා වැනි අය සත්‍ය වෙනුවෙන් රාජ්‍ය සමග තීරණාත්මක ලෙස හැප්පුනා. ෆේස් බුක් වැනි සමාජ ජාලා නොතිබුන 1990 යුගයේ විජේතුංග - රනිල් පාලන තන්ත්‍රය පෙරලා දැමුවේ මාධ්‍ය විසින් බවයි ඉතිහාසය කියන්නේ. මාධ්‍ය විසින් රාජ්‍ය තන්ත්‍රයක් පෙරලීම තරමක් අසාමාන්‍ය උනත් එකල රාජ්‍යයේ අකටයුතු වලට එරෙහිව ජනමතය හැසිරවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධාන වල ක්‍රියාකාරිත්වය නිසා එදා ආණ්ඩුව ගෙදර ගිය බව රහසක් නොවේ.

මාධයේ පැවැත්මට සත්‍ය සහ තොරතුරැ අවශ්‍ය වූ ඒ වකවානුවේ සත්‍ය තොරතුරු ගවේෂණය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ‘අමාරු වැඩ’ කිරීමට සිදුඋනා. ජිවිත පරදුවට තබමින් ඒ කාලයේ මාධ්‍යවේදීන් සුරියකන්ද වැනි රාජ්‍ය සමුහ මිනී වලවල් අනාවරණය කළා.

මාධ්‍යට අවසානයේ තම ස්වාමියාගේ ප්‍රාග්ධනය සමග ‘සුහද’ ගනුදෙනුවක් කල යුතු බව කුරිරු අත්තක්. එහෙත් පශ්චාත් සත්‍ය කරලියට ඒමට ප්‍රථම මාධ්‍යවේදියා ඉතා අමාරුවෙන් උනත් ස්වාමියාගේ ප්‍රාග්ධනයට ඉදිරියෙන් අඩු වැඩි වශයෙන් හිටගෙන් හිටිය. මාධ්‍ය ආයතන වලට වඩා අනන්‍යතාවයක් තිබු මාධ්‍ය චරිත එකල තිබුනේ ඒ නිසයි.

ඒත් පශ්චාත් සත්‍ය සමාජයේ සමාජ ජාලා හරහා කරලියට පැමිණි පසු මාධ්‍ය ඇසුරු කරන හුදී ජන සියලු දෙනාම මාධ්‍යවේදීන් වී ඇති අතර මාධ්‍යවේදීන්ගේ රාජකාරිය ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරි වෙලා තියනව. හිතළු, පුත්ගලික අජෙන්ඩා සහ ඇදහීම් අනුව යමින් මාධ්‍ය ස්වාමියා විසින් හදා දෙන පශ්චාත් සත්‍ය එලියට දාන ‘පියුම් මාමලා’ බවට මාධ්‍යවේදීන් ඌනනය වීම කියා සිටින්නේ පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය ඉවර බව නොවේද ?










Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම