බෙල්ලන්විල අලි පැටියාට රෝහින්ග්‍යයා සරණාගත දරුවෙකුගෙන් ලියුමක්




බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන්  අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවල. 'අලින්ට අකුරු කියවන්න පුලුවන්ද - මේවා මේ පුංචි ළමයෙකුගේ හුරතල් වැඩ' කියමින් බෙල්ලන්විල පන්සලේ දෙවැනි හාමුදුරුවො ලියුම කුණු කූඩෙට විසිකරල. මගේ ලියුම් හැකින්ස් පුරුද්ද දන්න මනුස්සයෙක් ලියුම අහුලාගෙන ඇවිල්ල මට දුන්න.


'මියන්මා කුමරා' අලි පැටියෝ,

මොනා උනත් ඔයා කරපු වැඩේනම් වැරදියි. කොච්චර තරහ ගියත් කන්ඩ බොන්ඩ දෙන එක්කෙනාට මැරෙන්න ගහන සිරිතක් තියනවද ? පොඩ්ඩක් හොඩේ උස්සල ඔළුව වනල බය කරන්ඩනෙ තිබුනේ. හරි හරි මට තේරෙනවා ඔයාගේ වේදනාව. අපි දෙන්නම එකයිනේ. ඔයත් මං වගේම අවතැන් වෙලානේ ඉන්නේ. මියන්මාර් කැලේක ඔයාගේ අම්ම එක්ක සන්තෝෂයෙන් ඉන්නකොට කවුරුහරි කට්ටියක් ඔයාව කුදලාගෙන ප්ලේන් එකෙන් අරගෙන ඇවිල්ල ඔයාව මේ පංසලට අතැරිය. අපි පවුල් පිටින් රෝහින්ග්‍යා වල ඉන්න්නකොට අපේ ගෙවල් ගිනිතියල අපිව පැන්නුව. බෝට්ටුවක නැගිල පන බේරගෙන එනකොට අහම්බෙන් වගේ ලංකාවට ගහගෙන ආව.

කොච්චර උනත්  අවතැන් වෙච්ච අලියෙක් වෙන එක අවතැන් ළමයෙක් වෙනවට වඩා හොදයි. අපි අවතැන් වෙලා ලංකාවට ආවම හාමුදුරුවරුයි මිනිස්සුයි එකතු වෙලා අපිව මරන්ඩ හැදුව, අනු නමයෙන් බේරුනේ. ඒත් අවතැන් වෙච්චි ඔයාට හාමුදුරුවො පලතුරු කැවුවනේ.

ඔය බෙල්ලන්විල හාමුදුරුවො නම් ඔයාට බොහෝම ආදරයෙන් හිටිය කියල තමයි ආරංචිය. ඇයි ඔයා හාමුදුරුවොන්ට ආදරේ නැද්ද ? මං දන්නව, කොච්චර උනත් ඔයාගේ උපන් ගම මියන්මාරයනේ. ඔයාට මතකනේ මෙහෙ හමුදාව ඇවිත් අපේ අය මරණකොට එහෙ හාමුදුරුවරු පිටිපස්සේ ඉදල උඩගෙඩි දුන්න. ඔයත් කැලේ ඉදල ඒවා බලාගෙන ඉන්ඩ ඇතිනේ.

මට ඇත්ත කියන්න. මං කාටවත් කියන්නේ නෑ. ඔයා හිතේ තියාගෙන ඉදල ගත්තේ ඒ වාඩුව නේද ?

මං දන්නව නිදහසේ කැලේකට වෙලා ඉන්ඩ ඕනි අලි පැටියෙකුට පන්සලකට කොටු වෙලා පලතුරු කකා ඉන්න එක කොයිතරං අමාරුද කියල. ඔයාට බිම පෙරලිල මඩේ වතිරිලා ඉන්ඩ ඕනි වෙලාවට ඒගොල්ලො ඔයාව නාවල, ඇදුම් අන්දල සාදු සාදු කියා කියා පෙරහැරේ අරගන යනව. ඔයා බඩගිනි වෙලා ඉන්නකොට ඔයාට සිද්ධවෙනව හොඩේ උස්සගෙන ඉන්න, ඒගොල්ලන්ට ලස්සන ෆොටෝ ගහගන්න. ඔයා ඩිංගක් නිවී හැනහිල්ලේ ඇලවෙලා ඉන්නකොට හාමුදුරුවො හරි උජාරුවෙන් ඇවිල්ල දායකයෝ ඉස්සරහ කෙහෙල් ඇවරි ඔයාගේ කටට ඔබනව.

දැන් බලන්න මටත් ඔය ප්‍රශ්නේමනේ තියෙන්නේ. මට සෙල්ලම් කරන්න ඕනි වෙලාවට කවුරුත් නෑ සෙල්ලම් කරන්න. ඒ වෙනුවට අම්ම මාව වඩාගෙන මට කෑම කවනව. මට නිදියගන්න ඕනි වෙලාවට අම්ම කියනව සෙල්ලම් කරන්ඩ කියල. මට බඩගිනි උදනෙනකොට අම්ම කෑගහනව පාඩම් කරන්න කියල.

අලි පැටියෙකුගේ ප්‍රශ්ණ ඉතින් හාමුදුරුවන්ට වත් මිනිස්සුන්ට වත් තේරෙන්නේ නෑනේ. ළමයෙක්ම වෙන්න ඕනි ඒවා තේරුම් ගන්න. ඒත් ඉතින් ඔයාට නම් තරහ ඇරගන්න ක්‍රම තියනව. මට ඉතිං පුළුවන් හයියෙන් අඩන්න විතරයිනේ. එක අතකට ළමයෙක් වෙනවට වඩා කොච්චර හොදද අලි පැටියෙක් වෙන එක.

ඔයා දන්නවද ඔයා මේ රටේ හරි ජනප්‍රියයි. ඔයා හින්ද පන්සලයි හාමුදුරුවොයි ඔක්කොම හරි ජනප්‍රියයි. අපේ රටේ ඉදල ලංකාවට ඇවිල්ල ඔයා මේ රටේ මෙහෙම ජනප්‍රිය වෙනකොට මටත් හරි ආඩම්බරයි. ඒත් ඉතින් ඔයාට ඔය ජනප්‍රිය කම් වත් ආඩම්බර කම් වත් වැඩක් නෑනේ. ඔයාට ඕනි මියන්මාරයේ ඔයා හිටපු කැලේට ගිහිල්ල ඔයාගේ නෑයොත් එක්ක ඉන්ඩනෙ.

මට කවද ආයෙත් රෝහින්ග්‍යා අපේ ගමට යන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. ඔයාටනම් කවදාවත් මියන්මාර් කැලේට තියා ලංකාවේ කැලේට වත් යන්ඩ වෙන්නේ නෑ. මොකද දැන් ඔයා අයිති පන්සලට. එත් අපි......අපි කාටවත් අයිති නෑ...!


ඔයා දග කරන්නේ නැතිව ඉවසගෙන ඉන්න

මීට
මියන්මාරයේ ඔයාගේ උපන් රටේ ළමයෙක්




    









Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම