හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න !

Image result for facebook ripping society society






මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවන් වර්ග දෙකක් සිටියි. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන - අහන දකින, සමහරවිට අපි අමාරුවෙන් නඩත්තු කරන යාළුවන් වන අතර අනෙක් වර්ගය නම් ෆේස් බුක් තුලින් ඉතා පහසුවෙන් උපයාගන්නා සිය ගණනේ සිට දහස් ගණන් දක්වා වූ ඩිජිටල් යාළුවන්ය. මේ අතරින් ෆේස් බුක් සමාගමේ අයිතිකාරයා වන මාර්ක් සකබර්ග් කැමති වන්නේ අපේ ඩිජිටල් යාළුකම් වලටයි. සාමාන්‍ය මිනිසුන්ගේ  සම්බන්ධතා ‘ඩිජිටල්’ වෙන තරමට සකබර්ග් වැනි අයට තම ජිවිත ඉතා සාමකාමී සහ ස්වාභාවික කරගැනීමට පුළුවන් වෙයි.

යුරෝපයේ සහ ඇමරිකාවේ මේ දවස්වල කරලියට පැමිණ ඇති කතාබහක් වන්නේ ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන බිලියන 2.3 ක් පමණ වන පිරිසකගේ දත්ත හොර රහසේම තුන්වන පාර්ශවයන් සදහා අලෙවි කර ඇති බවයි. බ්‍රතාන්‍යයේ පිහිටා ඇති කේම්බ්‍රිජ් ඇනලටිකා (cambridge Analytica) නම් දත්ත විශ්ලේෂක සමාගමට සේවා සපයන්නෙකු ලෙස ක්‍රියා කරන ෆේස් බුක් සමාගම අනියම් අකාරයෙන් ලෝක දේශපාලනය හසුරුවන හස්ථය බවට පත්වී ඇති බව ඊයේ පෙරේදා එම සමාගමින් ඉවත්වූ දත්ත විශ්ලේෂකයෙකු වන මාර්ක් බ්‍රවුන් නැමැත්තා බ්‍රතාන්‍යයේ observer පුවත්පතට පවසා තිබුනා.

ඔහු පවසන්නේ මේ ක්‍රියාවලිය හුදු ෆේස් බුක් හරහා කරන ප්‍රචාරක ක්‍රියාවලියක් නොවන බවයි. ෆේස්බුක්  පාවිච්චි කරන මිලියන 58 ක් පමණ වන ඇමරිකානු ජනතාවගේ දත්ත ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගමට විකුණු බවට මාර්ක් පවසනව. කේම්බ්‍රිජ් සමාගම මෙම දත්ත විශ්ලේෂණය කොට ට්‍රම්ප් කදවුරට වාසි සහගත වන පරිදි ඒවා සාර්ථක ලෙස ස්ථානගත කල බවටත් ඔහු පවසනවා. මේ ක්‍රියාවලිය ඔවුන් හදුන්වන්නේ Data Harvesting නමිනි.

මාර්ක් තවදුරටත් පවසන්නේ ඊජිප්තුවේ හිටපු නායක හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමේ ‘අරාබි වසන්තය’ පණගැන්වීමේ කාර්යභාරයේ සිට බ්‍රතාන්‍යය යුරෝපයෙන් වෙන්වීමේ ජනමත විචාරණය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ස් ඇමරිකාවේ ජනාධිපති වීම දක්වා සියළුම දේශපාලන පෙරලි වල තිර ය පිටු පස සිට අනියම් ආකාරයට ප්‍රධාන භූමිකාව කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කොට ඇති බවයි.

සකර්බර්ග් ෆේස්බුක් ජාලය පටන් ගත්තේ තමා නැවතී සිටි හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සිසුන් අතර සන්නිවේදන කටයුතු සදහායි. මෙම ජාලයේ ව්‍යාප්තිය සදහා විශ්ව විද්‍යාලයේ සිටින සිසුන් 4000 කගේ පමණ දත්ත සකබර්ග්  නොමිලයේම ලබාදුන් බව පැවසෙනව. එහෙත් සකබර්ගේ විනෝද ක්‍රීඩාව අක් මුල් විහිදවමින් විසිරී පැතිරිල ලෝකය පුරා බිලියන ගණනක් ජනතාවගේ හුදකලාව පුරවාලන ඩිජිටල් ක්‍රීඩාව බවට පත්වෙද්දී ඔහුගේ ෆේස්බුක් සමාගම ඇමරිකාවේ කොටස් වෙලදපොලේ ලාභ ඉතිරෙන ප්‍රමුක සමාගමක් බවට පත්වෙනව.

ෆේස්බුක් සමාගමට කොටස් වෙලදපොලේ උණු උණුවේ විකිනීමට තිබෙන හුවමාරු භාණ්ඩය කුමක්ද ? ඒ අන් කිසිවක් නොව ඔබ ඔබ අප සියලු දෙනාම ෆේස් බුක් ජාලය තුල නොවලහා සැරිසරමින් ජාලය තුලට ඇතුල් කරන අපේ දත්තයි.

Image result for facebook kills


ෆේස්බුක් සමාගමේ මුල් අවදියේ එහි සේවා කළ චමිත් පලිහපිටිය පවා වරක් සදහන් කොට තිබුනේ සමාගමේ අනාගතය රැදි පවතින්නේ එය තුලට පැමිණෙන මිනිසුන් කොපමණ කාලයක් එහි සැරිසරනවාද යන කාරනාව මත බවයි. ෆේස්බුක් ජාලය නිර්මාණය කළ පසුව සකබර්ග් සහ පිරිස තම නිෂ්පාදනය සමාජගත කිරීම සහ මිනිසුන්ගේ දත්ත එකතු කිරීමේ උපක්‍රම පිලිබදව වසරක පමණ කාලයක් පර්යේෂණ කල බව කියවෙනව. මේ සදහා සමාජ විද්වතුන්ගේ පවා සේවය ලබාගත් බව සදහන්.

අප ජීවත්වෙන මේ යුගයේ සමාජය තුල තිබෙන මිනිස් සබදතා තුල ප්‍රතිරෝධතාවයක් අවක්ෂේප වී තිබෙනව. පුත්ගලිකත්වය අධිනිශ්ච්චය වී ඇති වටපිටාවක අම්මාගේ ආදරය සහ පවා වෙළද වටිනාකමකින් උරගා බැලෙන මේ කාලයේ සමාජ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන සංඝටකය බවට පත්වී ඇත්තේ අපි අනෙකාට දක්වන බියයි.

අනෙකාව විශ්වාස නැති සමාජය තුල අපි දැන් සුරක්ෂිතව ජීවත්වීමට කදිම ක්‍රමවේදයක් සොයාගෙන ඇත. එනම් හුදකලාව ජිවත් වීමයි. එහෙත් සමාජ සත්වයෙක් උනු  මිනිසා මේ කෘතීම හුදකලාව තුල ප්‍රතිරෝධතා ඝස්ටනයකට මුහුණපා සිටිනව.

ෆේස්බුක් බිස්නස් මොඩලය සමාජගත කිරීමට පිබුරුපත් සකසමින් සිටි සකර්බර්ග් ඉතා දක්ෂ ලෙස සමාජයේ මේ ප්‍රතිරෝධතාවය අල්ලගන්නව. මහපොළවේ සමාජය වෙනුවට ඔහු ‘සයිබර් සමආජයක්’ හදනව.

දැන් වැඩේ ඉතාමත් ලස්සනට කෙරීගෙන යනව. මහපොළවේ මිනිස් සබදතා අනතුර වෙනුවට  දැන් අපට ඉතා සුරක්ෂිත ‘සයිබර් සමාජයක්’ තියනව. ගෙවල් ඇතුලට වෙලා දොරගුළු ලාගෙන ඉතා ‘සුරක්ෂිතව’ ඉන්න අපිට පරිගණකය ඉස්සරහට ගොස් තුන් හාරදාහක් යාළුවන් ඇසුරු සැනෙන් ඇසුරු කරන්න පුළුවන්. ස්කර්බර්ගේ ‘ස්මාර්ට්’ සයිබර් අවකාශය තුල ඇගපත තුවාල කරගන්නේ නැතිව, මහපොළවේ මිනිසුන්ගේ දාඩිය ගද අමාරුවෙන් උහුලා ගන්නේ නැතුව හරිම ලේසියෙන් යාළුවො ඇතිකර ගන්න සහ නැති කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ අපිට අපේම උන් එක්ක හරිම ලේසියෙන් රංචු ගැහෙන්න පුළුවන්. අපේ ශරීර සුවතාවයට අනතුරක් වෙන මහපොළවේ විරුද්ධවාදීන් අමතක කර දමා සයිබර් ලෝකයේ විරුද්ධවාදීන් රොත්තක් හදාගෙන අපේ ඔළුගෙඩි ඇතුලේ කැකෑරෙන ආතතිය උන් මත දියකර අරින්නත් පුළුවන්.

වීරයෝ අතුරුදහන් වෙලා තියෙන මහපොළවේ සමාජයට ඉතා ලේසියෙන් සයිබර් සමාජය තුල වීරයෙක් හොයාගන්නත් පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේම කියාගත් ‘සයිබර් රංචුවක්’ හදාගෙන ඉතා නිර්මාණාත්මක විදිහට තම තමන්ගේ පුංචි කුඩූ ඇතුලේ තමන්ටම වීරයෙක් වෙන්නත් පුලුවන්.

අපි මෙසේ සයිබර් අවකාශයේ විනෝද වෙද්දී එහි අයිතිකාරයා වන සකබර්ග් සහ සමාගම අපි සමග සයිබර් විනෝදයේ කිමිදෙනවා වෙනුවට අපේ විනෝදය ගැන බැරෑරුම් විදිහට හිතන්න පටන් ගත්ත. මේ බැරෑරුම් හිතීමේ හිතීමේ ප්‍රතිඑලයක් විදිහට ෆේස්බුක් සමාගම ඩොලර් බිලියන 100 ක වත්කමක් තියෙන ලෝකයේ විශාලතම සමාගම් අතරින් එකක් බවට පත්වී තිබෙනව.

ෆේස්බුක් සමාගම සල්ලි මවන්නේ කොහොමද කියල මේ සයිබර් ලෝකයේ සැරිසරන පිරිස් ඉතා සිහින් කෙදිරිලි ස්වරුපයෙනුත් සමාජ සහ ආර්ථික විද්වතුන් ඉතා බැරෑරුම් ලෙසටත් කතා කරනව. සමාජ ජාලයක් සතුව තිබෙන වෙළද වටිනාකම් වලට අමතරව ‘දොරේ ගලා යන’ වටිනාකමක් ෆේස් බුක් සමාගම ලබාගන්නේ ඔවුන් ෆේස්බුක් භාවිතා කරන්නන් ගේ දත්ත ‘ඇල්ගරිදම්’ (algorithm) මගින්  ඉතා සුක්ෂම ලෙස වර්ගීකරණය කොට ඔවුන් මේ අමතර වෙළද වටිනාකමක් ලබාගන්නව.

ඇල්ගරිදම් ගැන ගැන බොහෝ අධ්‍යනයන් කර ඇති ඊශ්‍රායල් ජාතික සමාජ විශ්ලේෂකයෙකු වන Yuval Noah Harari ප්‍රකාශයට පත්කොට ඇති නවතම ප්‍රකාශය වන්නේ  Homo Deus නොහොත් ‘මීලග හතලිස් වසරේ ඉතිහාසය’ යන්නයි. ඔහුට අනුව ඇල්ගරිදම් යනු මේ සියවසේ මනුෂ්‍ය සමාජයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. මිනිසුන්ව රොබෝ වරුන් බවට පත්වී ඔවුන්ව අදුශ්‍රමානව මෙහෙයවීමේ හැකියාවක් ඇල්ගරිදම් සතුවන බව ඔහු සාධක සහිතවම පෙන්වා දෙනව.

ඇන්ටෝනියෝ මාර්ටිනස් කියන්නේ ෆේස්බුක් සමාගමේ තවත් ආරම්භක සාමාජිකයෙක්. පසු කාලයේදී ඔහු සමාගමෙන් අස්වී ෆේස්බුක් සම්බන්ධව ඉතා සංවේදී පාපොච්චාරණයක් කලා. ඔහු කියා සිටියේ ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ දත්ත ඇල්ගරිදම් මගින් විශ්ලේෂණය කොට ඉතා දක්ෂ ලෙස ‘දත්ත වෙළද භාණ්ඩ බවට පරිවර්තනය කිරීමේ’ ක්‍රයාවලිය තමන් ආරම්භ කල බව ඔහු පවසනව.

‘ඔබ ෆේස්බුක් පිටුවේ ඉහල පහල යනවිට ඔබට වෙළද දැන්වීම් හමුවීම ඔබේ වරදක් නොවේ. එම වෙළද දැන්වීම් ඔබේ සිතැගි සමග සමපාත වීම හෝ අන්තර්ජාලයේ ඔබ හොයන - බලන දේවල් වලට සමපාත වීම අහම්බයක් ද නොවේ. ෆේස්බුක් සමාගම ඔබේ දත්ත ඇසුරෙන් ඔබව කියවා විවිධ සමාගම් වලට ඔබව විකිණීමේ ක්‍රියාවලියේ ප්‍රතිඑලයක් තමයි ඒ’ - ඇන්ටෝනියෝ   

ෆේස්බුක් සමාගමේ ගිණුම් මතට ඩොලර් පොම්ප වෙන අතර ඔවුන්ගේ දත්ත ගබඩාවට ලෝකයේම මිනිසුන්ගේ දත්ත ගොඩගැහෙන විට දත්ත - ඩොලර් බවට පත්කර ගැනීමේ තවත් අපූරු ක්‍රමයක් අන්ටෝනියා විසින් සමාගමට හදුන්වා දුන්න.

සමාගමේ දත්ත වලට අනුව සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම ෆේස්බුක් ජාලයේ ස්රිසරන මිනිසුන් සිටින්නේ නයිජිරියාවෙ. වසර 2015 දී එරට පැවති මහමැතිවරණය සදහා සමගම සතුව ඇති නයිජිරියානු ජාතිකයන්ගේ විස්තීරණ දත්ත සමුහය නිර්මාණාත්මකව යොදාගැනීමේ ක්‍රමවේද ගැන ඔවුන් කල්පනා කරනව. එවකට එරට සිටි ජනාධිපති Goodluck Jonathan ගේ මැතිවරණ නිලධාරීන් මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වුනු වත්මන් ජනාධිපති Muhammadu Buhari   ගේ මැතිවරණ කදවුර අමතන ෆේස්බුක් නිලධාරින් තමන් සතුව ඇති නයිජිරියානු ජාතිකයන්ගේ දත්ත වලින් ‘වැඩගන්නා’ හැටි ඔවුන්ට කියා සිටියා.

ඉන් පසුව හිටපු ජනාධිපති  Goodluck Jonathan ගේ පොහොසත් මිතුරන් පිරිසක් එකතුවී තුන්වන පාර්ශව සමාගමක් මාර්ගයෙන් ෆේස්බුක් සමාගමේ සේවය ලබාගන්නට තීරණය කලා. ඉතිහාසයේ ප්‍රථම වතාවට නයිජිරියානු ජනතාවගේ ෆේස්බුක් දත්ත ඇල්ගරිදම් කරණයට හසුකොට මැතිවරණයේ ජනමතය වෙනස් කිරීම අත්හදා බලනව.
ෆේස්බුක් සමාගම උපකාර කල Goodluck Jonathan මැතිවරණයේදී පරාජයට පත්වුනත් සමාගම ජයග්‍රහණය කළබවයි ඇන්ටෝනියෝ පවසන්නේ. නයිජිරියානු අත්හදාබැලීම් උපයෝගී කරගෙන මිනිසුන්ගේ දත්ත ඩොලර් බවට පත්කිරීමේ විශාල දේශපාලන ව්‍යාපෘති සදහා ෆේස්බුක් සමාගම යොමුවී ඇති බව ඇන්ටෝනියෝ පවසනව.

මෙම සටහන ඔබ කියවන අවස්ථාව වනවිට ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් දත්ත සමග මැදිහත්වූ ලන්ඩන් නගරයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම පිලිබදව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තියනවා. එහෙත් මේ පිලිබදව උනන්දුවක් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ෆේස්බුක් සමාගම රාජ්‍ය වලට වඩා විශාල වන නිසා මේ පරීක්ෂණ විහිළුවක් බවට පත්වී අවසන් වීමට නියමිත බවයි. සැබවින්ම ෆේස්බුක් යනු භූමියක් නැටි රාජ්‍යක්. එහි සිමා මායිම් නිර්මාණය වී ඇත්තේ ඩිජිටල් කරණය වූ මිනිස් සබදතා මතයි.

සරද සමරසිංහ


මුලාශ්‍ර

The Gardian
BBC Panorama
Homo Deus - Yuval Noah Harari

Comments

Popular posts from this blog

මෙන්න මඩ .........

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....