හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් !








හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක් !

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ වාසනාව තියෙන්න ඕනි කියල මං ඉගෙනගත්තේ ලගදි. චන්දෙ හෙම දාල 'මගේ එවුන්' රජ වෙලා ඉන්නව හීනෙන් දකින්න ආසාවෙන් නිදියගෙන හිටිය මට හීන දෙවියන්වහන්සේ හීනෙන් පෙනුන. පෙනුන විතරක් නෙමේ, උන්වහන්සේ මට හීනෙන්ම ලියුමකුත් එවල.
එම්බල නරය !

මේ දවස්වල ලංකාවේ නරපනුවො හුග දෙනෙක් මගේ සේවාදායකයො වෙලා ඉන්නේ. චන්ද කතිර සෙල්ලම හෙම ඉවරවෙලා උන් දැන් පාට පාට හීන දැක දැක ඉන්නේ. මේ වාසනාවන්ත හීන දකින්නන්ගේ සමාජයට පරක්කු වෙලා හරි ඔය නර පණුවත් එක්වීම ගැන  සටුතුයි.

යුෂ්මතාගේ රටේ නරයෝ ගැන වෙලාවකට මට පුදුම හිතෙනව. කොච්චර අවදි වෙන්න අවස්ථා තිබුනත් හීන දැක දැක ඉන්නමනේ උන්ගේ හිත. ඔය නරයන්ගේ සමර්ථ කම කියන්නේ තොප ඔහොම හීන දකින්නේ කොච්චර නම් ප්‍රශ්ණ ඔළුගෙඩියෙ තියාගෙනද ? එහෙන් වකුගඩු රෝගේ හැදිල පවුල් පිටින් අනාථ වෙනව. කඩේට බඩු ගන්න ගියාම ඒවයේ ගනං මිනුම් අහල සමහර නාරයො පපුව පැලිල මැරෙනව. වගාවට වතුර ඉල්ලගෙන නරයො නර පතියන් ගාවට ගියාම උන්ට ගහල එලවනව.
නරයන් වන තොපි දිනපතා විදින දුක් ගැහැට ගැන හිතල තමයි මං ජීවමාන හීන හදල තොපේ ලෝකෙට එවල තියෙන්නෙ. යුෂ්මතාට දැන් කොච්චර ලස්සන ජීවමාන හීන දකින්න පුලුවන්ද !  දැන් ඔය නරපතියන් දිහා බලව. උන් සුවපහසුවට පෘෂ්ටිමත් වාහන වල නැගිල උජාරුවට එහෙ මෙහෙ යනව, හිටි ගමන් තොපට ඇහෙන්න ලස්සන වචන එකතු කරල පණිවිඩ නිකුත්කරනව. සාකච්චා කරනවා, පිටරට සවාරි යනව. මේ ඔක්කොම කරන්නේ තොපි වෙනුවෙන් කියල හීනයක් හදාගෙන ජිවත්වෙනු.

පහුගිය කාලයේ මං තොපට දිරවගන්න බැරිතරම් හීන දුන්න මතකද ? චන්ද හීනයක් දීල උහුලගන්න බැරිතරම් මිනිස්සු කන්දරාවක් මන්ත්‍රීවරු කරල  දැන් ඒ නරයන් ටික එකතුවෙලා තොපේ ගම ගොඩදාල දෙන හීනයක තොපව ගැටගහල තිබ්බ මතකද ?

චන්ද හීනෙන් ඇහැරෙන්ඩත් ඉස්සෙල්ල තමයි තොපට මං ආණ්ඩු හීනයක් දුන්නේ. අගමැති වෙන්නේ මොන නරපනුවටද, ඇමතිකම් නැතිවෙන්නේ මොන නරයගෙද වගේ දේවල් ගැන සංවේදී හීන දකින්න දැන් තොපට පුළුවන්. එහෙමත් නැතිනම්  ඉන්න නරපනුවන්ම අළුත් සෙයියාවකින් ඇවිල්ල තොපලාගේ ප්‍රශ්ණ විසදලා දෙයි කියමින් හීන දැකීමේ වාසනාව දැන් තොපට ලැබිල තියනව.
තොපට හීන දැක දැක ඉන්න එක ටිකක් කම්මැලියි කියල හිතෙනවනම් හිතේ මලකඩ යවාගන්ඩත් එක්ක පුංචි පුංචි ‘ගෙදර වැඩ’ තියනව ඒවා ගැන අවධානය යොමු කරව.
තොපගේ ජාතිය නැතිබන්ගස්ථාන කරන්න මුළු ලෝකයේම උන් දත කට මැදගෙන ඉන්නවා යැයි පුංචි හීනයක් හදාගෙන ජිවත් වෙනු. කන්ඩ බොන්ඩ නැතත් ජොගීන් පාක්, හයිවේ දිහා බල බලා සැනසෙනු. අහස උසට ඉදිවෙන බිල්ඩිම් දිහා බල බල ඇස් නිලංකාර කරගනු. පුළුවන් තරම් සංවර්ධන හීන දැකගැනීමට සුදානමින් සිටිනු. ටීවී එකේ දකින ලොකු ලොකු රට කරන මහත්තරුයි රට කරන්ඩ බලාපොරොත්තු වෙන මහත්තරුයි  කොයි වෙලේ හරි රට ගොඩ දාල දෙපා මුලටම ගෙනත් දෙන හීන බල බල ජීවත්වීමට පුරුදු වෙනු.
හැබැයි නරය, ඔය නරයට තියෙන ලෙන්ගතුකමටයි මං මේ කියන්නේ ඔය හීන ලෝකයෙන් එලියට එන්න හීනෙකින්වත් හිතන්න එපා. හීන බල බලම හිටු. ලංකාවේ නරයන් වන තොපි අවදි උනොත් අපි ඔක්කොම සුන්. යුෂ්මතාලගේ හීන වල ඉන්න ඔය නරයො ඔක්කොම සුන්නද්දුලි වෙලා යයි.
වෙන එකක් තියා ඔය නරයන්ගේ හීන වලට අධිපති වන මගේ ජොබ් එකත් ගහල යයි.
මිට
හීන දෙවියන්වහන්සේ

Comments

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම