සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) පවසනව. ඔහුගේ නවතම කෘතිය වන Homo Deus නොහොත් මීලග හතලිස් වසරේ ඉතිහාසය නම් වූ කෘතියේ එකොලොස්වන පරිච්චේදයෙන් ඔහු දත්තවාදය ගැන කථා කරනව. එම පරිච්චේදයේ සිංහල අනුවාදය මීට ඉහත පලවූ අතර මේ එහි දෙවන කොටසයි.


දේශපාලනයේ දිශානිතිය වෙනස්කරන දත්තවාදය

සමාජවාදය සහ ධනවාදය යනු එකිනෙකට වෙනස් දත්ත සැකසුම් ක්‍රමවේදයන් දෙකක්. සමාජවාදය සමාජයක් තුල තුල දත්ත හැසිරීම සලකා බැලුවොත් එය එක් න්‍යෂ්ටියකට කේන්ද්‍රගත වෙනව. එහෙම නැතිනම් දත්ත සංසරණය වෙන අවස්ථා අඩුයි. ධනවාදී සමාජයක දත්ත විසුරුණු ස්භාවයක් පෙන්නුම් කරනව. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා දත්තවාදය විසින් එකිනෙකට මුනගස්නව. මේ නිසා නිෂ්පාදකයාට තීරණ ගැනීමේ හැකියාව වැඩිවෙනව. ධනවාදී වෙළදපොල ආර්ථික ක්‍රමයේ මුල් කාලයේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර දත්තවාදී සංවාදයක් ඇතිවී දත්තවාදය විසින් මේ බලවේග දෙකම පාලනය කරන තත්වයක් තිබුනත් අද මේ සංවාදයෙන් නිෂ්පාදකයා ජයගෙන ඇති අතර පාරිභෝගිකයා යනූ නිෂ්පාදකයාට දත්ත නිෂ්පාදනය කරන යන්ත්‍රයක් බවට විතැන් වී ඇත.

වෙලදපොලේ පාන් මිළ පිලිබදව උදාහරණයක් සලකමු. අපි පරිභෝජනය කරන පාන් වල මිළ තීරණය කරන්නේ කවුද ? සමාජවාදී රාජ්‍යකදී එය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා පිලිබදව සමාලෝචනයකින් පසුව රාජ්‍ය විසින් තීරණය කරනු ඇත. වෙළදපොල ආර්ථික ක්‍රමයක් තුලදී එය තීරණය කරනුයේ දත්තවාදය විසින්. එහෙත් මෙහිදී දත්තවාදය විසින් කිසිම වෙළදපොලක් හෝ සමාජයක පාන් අවශ්‍යතාවය පිලිබදව සමාලෝචනයක් නොකරයි. දත්තවාදය සලකන්නේ දත්ත පමණයි.

පාන් පරිභෝජනය කිරීම තුලින් පාරිභෝගිකයා පාන්වලට අදාළ බොහෝ දත්ත නිෂ්පාදනය කරයි. මේ දත්ත එක එල්ලේම විශ්ලේෂණය කිරීමට පාන් නිෂ්පාදකයාට හැකිවෙයි. එම දත්ත ඇසුරෙන් පාන් වල මිළ, හැඩය හෝ ගුණය නිෂ්පාදකයා විසින් තීරණය කරයි. මීට එදිරිව පාන් නිෂ්පාදකයා සතු දත්ත කිසියම් ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙතටද සංසරණය වෙයි. නිෂ්පාදකයාගේ ගුණාත්මකභාවය, සමාජ වගකීම, සංස්කෘතිය ආදී දත්ත. මෙම දත්ත ගොනු එකිනෙකට ගැටීමේ ප්‍රතිඑලයක් ලෙස ප්‍රමුඛ වන දත්ත ගොනුවේ, බොහෝවිට පාන් නිෂ්පාදකයාගේ දත්ත විශ්ලේෂණය මත අවසානයේ පාන් මිළ තීරණය වේ.

කිසියම් පාන් නිෂ්පාදකයෙක් අසාමාන්‍ය මිලකට පාන් ගෙඩියක් වෙළදපොලට නිකුත් කළා යැයි සිතමු. මේ පාන් විශේෂයේ මිළ ඩොලර් 100 ( පැහැදිලි කිරීමේ අර්ථයෙන් ) කට මිළ නියම වෙනව. කිසිවෙකු මේවා මිලදී ගනිතැයි සිතිය නොහැකියි. මේ මිළ සාධාරනිකරණය කිරීමට බොහෝ දත්ත නිෂ්පාදනය කිරීමට සිදුවෙනව. උදාහරණයක් ලෙසට එම පාන් වලට යොදා ඇති සුවිශේෂ පිටි වර්ගයක් ගැන, එසේත් නැතිනම් එම පාන් පරිභෝජනය කිරීම මගින් ලැබෙන සුවිශේෂ සවුක්ය වාසියක් ගැන. මේ දත්ත වලට පාරිභෝගික සමාජයේ ‘ඉල්ලීමක්’ නිර්මාණය උනොත් ඔවුන් ඒවා මිලදී ගන්නව. මෙම ඉල්ලීම ඉතා ඉහල ගියහොත් වෙලදපොලේ ‘සුවිශේෂී පාන්’ නම් භාණ්ඩයක් නිර්මාණය වී එහි මිළ ඩොලර් 100 බවට පත්වෙනව.

ඇතැම් රටවල්වල, වෙළදපොල ආර්ථිකය ක්‍රියාත්මක වෙන රටවල් වල පවා පාන් වැනි සංවේදී පාරිභෝගික භාණ්ඩයක මිළ තීරණය කිරීමේ සාධකයට රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීම අකින්නට ලැබෙනව. බැලු බැල්මට මෙය දත්තවාදයේ වෙළදපොල ආධිපත්‍යය පිළිබද තර්කනයට විරුද්ධව සිදුවෙන ක්‍රියාවලියක්. එහෙත් මේ මැදිහත්වීම් හුදු උත්සවාකරියි (ceremonial interference). දත්තවාදයේ තර්කනයට අනුව රාජ්‍යට ඇත්තේ ඉතා සුළු මැදිහත්වීමේ අවස්ථාවක් පමණයි.



දත්තවායේ තර්කනයට යටත්ව බිහිවූ ඉතා වැදගත් ආයතනයක් වන්නේ කොටස් වෙලදපොලයි. කොටස් වෙළදපොල යනු ලෝකයේ නවතම අධිරාජ්‍යවාදයයි. කොටස් වෙළදපොල  තම දත්ත ජාලය මගින් ලෝක ආර්ථිකය පාලනය කරන ආයතනයයි. සෘජුව හෝ වක්‍රව ලෝකයේ සියළු මිනිසුන් කොටස් වෙළදපොල සමග සම්බන්ධ වී සිටිනව. අප්‍රිකාවේ ගෝත්‍රික ග්‍රාමයක සිටින මිනිසෙකුට පවා නිව්යෝක් කොටස් වෙලදපොලේ චලනයන් බලපානව. දත්තවාදය අනුව ලෝකයේ කොටස් වෙළදපොල ජාලය හැදින්විය හැකි හොදම නිර්වචනය ස්වාධීන සහ එකිනෙකා මත යැපෙන (independent and interdependent ) ආයතන යනුවෙනි.

කොටස් වෙළදපොල චලනයන් සිදුවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ලෝකයේ සිදුවන සමාජ ආර්ථික සහ දේශපාලන කාලගුණය බව අප දන්නා ජනප්‍රිය කාරණයයි. ලෝකයේ රටවල්වල සිදුවන දේශපාලන හැලහැප්පීම් සහ ස්භාවික විපත් සෘජු ලෙසම එම රටවල් වල ආර්ථිකයට බලපෑම් ඇති කරනව. ඒත් දත්තවාදයේ නීති රිති වලට අනුව රටක ආර්ථික චලනයන්ට බලපෑම් ඇතිකරන්නේ එරට කොටස් වෙළදපොල කරා එන දත්ත වල ප්‍රභලත්වය මගින්.

උදාහරණයක් ලෙසට අප්‍රිකාවේ දරුවන් මන්දපෝෂණයෙන් මියයෑම කියන කාරණය ඉතා සංවේදී සහ දුක්මුසු පුවතක් ලෙස අපට දැනුනත් ඉන් නිව්යෝර්ක් හෝ යුරෝපයේ කොටස් වෙළද පොලට බලපෑම් කරන්න පුළුවන් කමක් ලැබිල නෑ. අප්‍රිකාවේ මියයන් දරුවන් නිෂ්පාදනය කරන්නේ ඉතා දුර්වල දත්තයි. නමුත් අප්‍රිකානු කලාපයේම පැතිර ගිය එබොලා වසංගතය එම කලාපයේ සංචාරය කළ යුරෝපා ජාතිකයන් කිහිප දෙනෙකුට වැලදී එම වසංගතයේ භයානක කම යුරෝපයට දැනෙන්නට පටන් ගත්ත. අප්‍රිකානු සංචාරක ව්‍යාපාරය තාවකාලිකව අඩපන වීමෙන් වසංගතයේ ආර්ථික කාරණය කොටස් වෙලදපොලටත් දැනුන.
මේ වසංගතය පසු කාලයේදී පාලනය කළ අතර ඉන් ජිවිතක්ෂයට පත්වුයේ සාපේක්ෂව ඉතා අඩු මිනිසුන් පිරිසකි. නමුත් මෙම ක්‍රියාවලියෙන් නිෂ්පාදනය වූ දත්ත ඉතා ප්‍රභල නිසා එය යුරෝ-අප්‍රිකා ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් උනා. මේ ලියන මොහොත වනවිට අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් දහස් ගණනක් මියයන මුත් ඔවුන් නිසා අප්‍රිකාවේ, යුරෝපයේ හෝ ලෝකයේ කිසිම රටක කොටස් වෙළදපොලට බලපෑමක් එල්ල කරන්නේ නෑ. එනිසා ඒවා දත්තවාදය තුල වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ නෑ.



පරණ ලෝකයේ සංවේදී සහ වැදගත් සිදුවීම් දත්ත්වාදී ලෝකයට පැමිණෙන විට නැවත පරික්ෂාවකට ලක්කෙරෙන අතර මේ අළුත් ලෝකයේදී සංවේදී මනුස්සකම් වලට ලැබෙන්නේ දත්තමය අගයක්.  බොහෝවිට එය ඉතා දුර්වල දත්තමය අගයකි.

මා කලින් සදහන් කළ සමාජවාදී ආර්ථික ක්‍රමයක් අත්හදා බැලු සෝවියට් රුසියාවේ සිටි ජීව විධ්‍යාඥයෙක් වූ ට්රොෆිම් ලිසෙන්කෝ (Trofim Lysenko) කෘෂිකර්මාන්තය අදාළ බොහෝ පර්යේෂණ කළා. කොමිනිස්ට් පක්ෂයේ පුර්ණ අනුග්‍රහයෙන් ඔහු සයිබිරියාවේදී කළ පර්යේෂණයක අරමුණ උනේ අධික සීතලට ඔරොත්තු දෙන අන්දමේ තිරිගු බීජ නිෂ්පාදනය කිරීමටයි. ඔහුගේ පර්යේෂණ අසාර්ථක වී රට ආහාර අර්බුද අවදානමකට පවා ලක්වූ බව පැවසෙනව.

ලිසෙන්කෝ ගේ පර්යේෂණ පිළිබද දත්ත වල දිශානිතිය එල්ලවී තිබුනේ පක්ෂය සමග බැවින් දත්තවාදය අනුව එය දුර්වල දත්ත පෙලගැස්මකි. එහිදී නිෂ්පාදනය කෙරෙන්නේ ඉතා දුර්වල දත්තයි. වරදින්න සහ නොමග යන්න තියන ඉඩප්‍රස්ථා අඩුයි. මීට එදිරිව ඇමරිකාවේ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිළිබද උදාහරණය ගමු. ඔහු තම තාක්ෂණය තරගකාරී ලෙස දියුනුකලේ කොහොමද? දේශසීමා සහ දේශපාලන සම්බාධක කඩා බිද දමමින් ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ රටවල් වලින් නිෂ්පාදනය කළ තාක්ෂණික ඔළුගෙඩි ඇපල් සමාගමේ විශ්මිත මෘදුකාංග නිෂ්පානය කිරීම සදහා යෙදවීමේ පරිසරයක් ඇතිකිරීමයි. ලිසෙන්කෝ සේම ඇපල් සමාගමත් එක් කාලයක අසාර්ථක වන අතර ඔවුන් යලිත් ගොඩ එන්නේ ලෝකයේම විසිරුණු දැනුම තම සමාගම වෙතට ග්‍රහණය කර ගැනීමෙනි.

ඇපල් සමාගම සතු දත්ත ගබඩාව යනු ඉතා ප්‍රභල දත්ත සංකීර්ණයකි. එය පාලනය කිරීමට ලෝකයේ කිසිම නීතිමය හෝ ව්‍යවස්ථාපිත ආයතනයකට නොහැකිවී ඇත. මෙහි ඇති උභතෝකෝටිකය නම් ලිසෙන්කෝ ගේ පර්යේෂණ එකල සෝවියට් රුසියාවේ සමාජය ගොඩනැංවීම සදහා පෙනී සිටිය අතර ඇපල් සමාගම වෙළදපොල සමාජය වෙනුවෙන් පෙනී සිටියි. වෙළදපොළ සමාජයේ මිනිසුන් නැති අතර ඇත්තේ දත්ත පමණි. හැම මිනිසෙක්ම දත්ත නිෂ්පාදකයෙකි. විශාල දත්ත ගොනු (Big Data ) වල පුංචි ඒකකයකි.

ඉතිහාසයේ එක් තීරණාත්මක අවස්ථාවක සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමය පරදා ධනවාදී ආර්ථික අභිලාසය ලෝකයේ පෙරට එන්නේ එය ඉතා කාර්යක්ෂම, සාධාරණ හෝ ප්‍රායෝගික, එසේත් නැත්නම් ‘දෙවියන්ගේ කැමැත්ත’ නිසා හෝ නොවේ. ධනවාදය ඉතා කාර්යක්ෂම ලෙස දත්ත පරිශීලනය කරන නිසාය. ධනවාදයේ මුල් වකවානුවේ එය ඉතා කාර්යක්ෂම ආර්ථික ක්‍රමයක් ලෙස බොහෝ සමාජවාදී ආර්ථික විද්‍යාර්ථයින් පවා වරනැගුව. ඒත් අපි මේ ජීවත්වෙන පසු ධනවාදී යුගයේ  කාර්යක්ෂමභාවය දෙගුණ තෙගුණ වී මිනිසා වෙනුවට දත්ත සහ සමාජය වෙනුවට වෙළදපොල පැමිණ ඇත.

රෝම අධිරාජ්‍යවාදය හෝ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය පැවතුනු යුගයන් වලදී එකී සමාජයන්ගේ හැසිරීම ගැන කල්පනා කරන්න. මේ වකවානු වලදී සමාජය ලෙස අර්ථගැන්වුවෙ අධිරාජ්‍යා වටා විවිධ ස්ථර වලින් පෙළගස්වන ලද සහ හික්මවන ලද ජන සමුහයන් හෝ රාජ්‍යන් වලටය. සමාජය පරිණාමයට හසුවී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආයතන බිහිවී යලිත් සල්පිලාකාර ලෙස මුලටම ගමන් කොට ඇත. එනම් මනුෂ්‍ය සමාජය මත අධිරාජ්‍යවාදය යලිත් බිහිවෙමින් පවතී. මේ අළුත් අධිරාජ්‍යවාදය අන් කිසිවක් නොවෙ දත්තවදයයි. මේ අළුත් අධිරාජ්‍යවාදයේ විශේෂත්වය නම් අධිරාජ්‍යවාදී මිනිසුන් හෝ පවුල් වෙනුවට ඇත්තේ දත්ත වලින් සමන්විත බැලු බැල්මට කිසිවෙකුටත් නොපෙනෙන පද්ධතියකි. ඉපැරණි අධිරාජ්‍යවාදී සමාජයන් වලදී මෙන් මිනිසුන් මේ අදිසි පද්දතියට කීකරුව, පද්ධතියේ අනසක වලට යටත්ව ජිවත් වෙයි.




විසිවන සියවසේදී බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විසිඑක්වන සියවසේදී දත්තවාදය විසින් අභියෝගයට ලක්කරමින් සිටි. හෙට දවසේදී දත්තවාදය විසින් මේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පෙරළා දමනු ඇත. සියවසේ බිහිවූ ආයතන වන පාර්ලිමේන්තු, මැතිවරණ සහ අධිකරණ පද්ධති ගොඩනැගෙන කාලවකවානු වැලදී තාක්ෂණය තිබුනේ සිහින කොදෙව්වලය. ඉන්පසුව පැමිණි වකවානුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල අධිපතිවාදයට යටත්ව තාක්ෂණය දියුණු වීමයි.

එහෙත් අප ජිවත්වන මේ යුගය යනු තාක්ෂණය විසින් සම්ප්‍රදායක ආයතන යටපත් කරමින් යන යුගයකයි. හෙට දවසේදී තාක්ෂණය විසින් මේ ආයතන අතාර්තික කර දමනු ඇත.

යම් රටක අන්තර්ජාලය හරහා දත්ත එකතු කොට එම දත්ත පද්දති මගින් සමාජය අනියම් ආකාරයෙන් මෙහෙයවීමේ ක්‍රියාවලිය එරට පාර්ලිමේන්තුවට හෝ ඉන් පණවන නීති රීති වලට හෝ පාලනය කිරීමට හැකිද? කිසියම් රටක දත්ත පද්දති තවත් රටක දත්ත සමග එක් කිරීම සම්ප්‍රදායික පාර්ලිමෙන්තුවාදයේදී බරපතල දේශසීමා ආක්‍රමනයකි. එහෙත් දත්තවාදයේදී එය පරිගණකයක් මත විසදා ගන්නා පුංචි කටයුත්තකි.
එහෙත් තවමත් සම්ප්‍රදායක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඉතා උනන්දුවෙන් මහපොලව මත පවතියි. සමාජය තවමත් ඒ ආයතන වල පැවත්ත්ම වෙනුවෙන් වෙහෙසෙයි. මෙම ආයතන හෝ එහි යතාර්ථවාදී බව යනු අද සමාජය දකින සිහිනයකි. එහෙත් දත්තවාදය විසින් නොදුරු අනාගතයේදී මනුෂ්‍ය සමාජයට මේ හීනය තේරුම් බේරුම් කර දෙනු ඇත.

තව කොටසක් ලබන සතියේ......


Comments

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....